by Ven. N. Suwachaseela
21 Wednesday 2018

මෛත‍්‍රී භාවනාව



මෛත‍්‍රිය යනු මිත‍්‍රත්වයයි. සියලු සත්වයන් කෙරෙහි දක්වනු ලබන මිත‍්‍රශීලි භාවය මෛත‍්‍රිය කිරීමයි. මිත‍්‍රයන් අතර ඇත්තේ ඉතාමත් යහපත් සබඳතාවකි. මිතුරන් එකිනෙකා පිළිබඳ මනා අවධානයකින් පසුවන අතර එකිනෙකාට හිංසාවක් නොකරයි. මෛත‍්‍රිය වැඞීම යනු මිත‍්‍රත්තය වැඩීමයි. සියලු සත්වයන් කෙරෙහි අප විසින් අධ්‍යාත්මයෙන්ම ප‍්‍රකාශ කරනු ලබන මිත‍්‍රත්වයයි. මෙම පිරිසිදු සිතිවිල්ල අරමුණ කොටගෙන කරනු ලබන භාවනාව මෛත‍්‍රි භාවනාවයි.



මෛත‍්‍රි සහගත සිතිවිල්ලේ හි විරුද්ධ සිතිවිල්ල වන්නේ හිංසාකාරි සිතිවිල්ලයි. මෙත් වැඞීම මෙන්ම හිංසාකාරී සිතිවිල්ල ද කෙනෙකුට වැඩිය හැකිය. එය ව්‍යපාදය ලෙස ද හැඳින්විය හැකිය. ව්‍යාපාදය යනු අනුන් නැසීමේ සිතයි. තරහව මුහුකුරා ගිය අවස්ථාවක් ලෙස ව්‍යාපාදය ගැනිය හැකිය. යමෙකු ඉතා හිංසාකාරී සිතිවිලි සහිත වන්නේ නම් ඔහු අවිහිංසාව ප‍්‍රගුණ කළයුතු ය. අවිහිංසාවෙන් අනතුරුව සියලු සත්වයන් කෙරෙහි මිත‍්‍රශීලි චේතනාවන් ඇතිකරගත යුතු වන අතර එය ක‍්‍රමයෙන් දියුණු කළ යුතු වේ. අවිහිංසාව ආකල්පයක් වශයෙන් ද දියුණු කළ හැකිය. සියුලු සත්වයින් ඇතුලු ලෝකය පිළිබදව කෙනෙකුගේ ආකල්පය අවිහිංසාවාදී විය යුතු අතර එතුළින් ඒම පුද්ගලයාගේ සිත කය හා වචන යන තිදොරින් කෙරෙන සියලු කර්මයන් හිංසාවෙන් තොර වූවක් වේ.



මෛත‍්‍රි යන්න පාලි භාෂාවෙන් පරිවර්තනය වන්නේ මෙත්තා යනුවෙනි. මෙත්තා යනු සතර බ‍්‍රහ්ම විහරණ අතරින් පළමුවන විහරණ ධර්මයයි. අනෙක් බ‍්‍රහ්ම විහරණ වන්නේ කරුණා, මුදිතා හා උපෙක්ඛා යනුයි. යෙ සතර බ‍්‍රහ්ම විහාරණ ලෙස හදුන්වා තිබෙන්නේ එය බ‍්‍රහ්ම ලොකවල උපත ලබාදීමට සමත් නිසාත් බ‍්‍රහ්ම සංවත්තනිකයිනට ඇතිවන සිතිවිලි වන නිසාත් ය. මෙම ගුණ ධර්මයන් උපදවාගත හැකි දෙදෙනා ලෙස මව්පියන් දෙදෙනා හැදින්විය හැකිය. බුදුරජාණන් වහන්ස‌ේ විසින් බ්රහ්මාති මාතා පිතරො යනුවෙන් දේශනා කරමින් අවධාරණය කොට ඇත්තේ දෙමව්පියන් බ්ර්හ්මයින් හා සමාන වන බවයි.

මෙත් වැඩීම මොලොව පරලොව දියුණුවට හේතුවේ. මෙලොව දිවියට ඒයින් ලැබෙන ආනිසංස බොහෝය. මෙය භාවනාවක් වශයෙන් වැඩීමට කදිම අරමුණකි. මෙය ඉතා පිරිසිදු අරමුණකි. ගිහි පැවිදි භේදයකින් තොරව මෙම භාවනාව වැඩීම ඉතාමත් සුදුසු බව බෞද්ධ දේශනාවලින් පැහැදිළි වේ. මෙත් වැඩීමේ ආනිසංස කීපයක් මෙත්තානිසංස සූත්රයේ දේශනා කොට ඇත. මෙත් වැඩිය යුතු වන්නේ ආනිසංස ලබාගැනීම පිණිස නොවේ. ආනිසංස යනු ඒහි අතුරු ප්රතිඵලයයි. මෙත් වඩන්නාවූ ආර්ය ශ්රාවකයා කිසිවෙකුටත් හිංසාවක් නොකරයි. සතුරෙකුගෙන් පැමිණෙන හිංසා පීඩා වලදී පවා එම සතුරාටත් මෙත් සිත උපදවාගැනීමට සමත් වන්නේ නම් එය සැබෑ මෙත් වැඩීමකි. මෙත් වඩන පුද්ගලයාට සතුරන් අවම වන බව ධර්මයේ සදහන් වේ.

මෛත‍්‍රි භාවනාවේ ආනිසංස 11ක් මෙත්තානිසංස සූත‍්‍රයේ දක්වා තිබේ.



1. සැපයේ නිදයි.

2. සැපයේ පුබුදියි.

3. නපුරු සිහිනයක් නොදකියි.

4. මිනිසුන්ට පි‍්‍රයවෙයි.

5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වෙයි

6. දෙවියෝ රකිති.

7. මේ මෛත‍්‍රී විහරණ ඇති පුද්ගලයා ගේ ශරීරයෙහි ගිනි හෝ, විස හෝ, සැත් හෝ නොවදියි.

8. වහාම සිත එකග වෙයි.

9. මුහුණ පැහැපත් වෙයි.

10. නො මුලාව කලූරිය කරයි.

11. මෛත‍්‍රී සමවතින් මතු රහත් වන්නට නොහැකි වී නම් මරණින් මතු බඹලොව උපදියි.

මෛත‍්‍රී භාවනාව යම් අයෙකු දිගින් දිගටම වැඩිම නිසා මෛත‍්‍රී අරමුණ තුල සිත එකග වෙයි. එමෙන්ම, පංච නීවරණයන්ද යටපත් වේ. වඩා දියුණු කරනවිට විතක්ක, විචාර, ප‍්‍රීති, සුඛ හා ඒකාග‍්‍රතාව සහිත ධ්‍යානයන් දක්වා වුවද වැඩිය හැකි ය. ඉක්මනින් ම සමාධිය ඇති කරගැනීමට මෛත‍්‍රී භාවනාව ඉවහල් වේ. මෛත‍්‍රි සිතෙහි එකග බව වෙනත් භාවනාව ක් සදහා වුවද පහසුවක් වේ. මක් නිසා ද එකග වූ සිත පැවතීම හේතුකොටගෙන ය. එමෙන්ම, නිරායාසයෙන් ම සියලූ දෙනාටම ප‍්‍රිය වූ අයෙකු බවට මෛත‍්‍රී වඩන පුද්ගලයා පත් වේ. මිනිසුන්ට,දෙවියන්ට මෙන්ම අමනුෂ්‍යයින්ට ද ප‍්‍රිය පුද්ගලයෙකු වේ... මෙවැනි බොහෝ ආනිශංස මෛත‍්‍රී වඩන පුද්ගලයාට ලැබේ.



මෛත‍්‍රිය වැඞීම කල හැකි ක‍්‍රම දෙකක් පිලිබඳ විස්තරයක් අනුරුද්ධ මහරහතන් වහන්සේ විසින් අනුරුද්ධ සූත‍්‍රයෙහි දක්වා තිබේ.

1. අප්පමාණ චේතෝ විමුක්තිය.

වචන අර්ථයෙන්ම ප‍්‍රමාණ රහිතවම දිශා වශයෙන් මෛත‍්‍රිය මෙනෙහි කිරීම මෙහිදී සිදු වෙයි. එනම්,දිශාවන් 10 කට බෙදා එක් එක් එක් දිශාවේ සිටින සත්වයන් වෙත වෙන වෙනම මෛත‍්‍රිය පැතිරවීම යි. උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත් වා...! තරහ නැත්තෝ වෙත් වා...!

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා...!දුක් පීඩා නැත්තෝ වෙත් වා...!සුව සේ ජීවත් වෙත් වා...!ශාන්ත සුවයට පත් වෙත් වා...!

මේ ආකාරයෙන්,

  • උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ........
  •  නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ.........
  • නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ.........
  • දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ.........
  • දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ........
  • බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ.........
  • බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයො........
  • උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ........
  • යට දිශාවේ සිටින සියලූ සත්වයෝ........

මෙලෙස දස දිශාවටම මෛත‍්‍රී සිත පැතිරවීම මෙහිදී සිදු වෙයි...මෙය ඇතැම් භික්ෂූන් වහනසේලා කරුණා භාවනාව යනුවෙන් ද ව්‍යවහාර කරයි...

2. මහග්ගත චේතෝ විමුක්තිය

බොහෝ දෙනා මෛත‍්‍රිය පැතිරවීම උදෙසා යොදාගන්නේ මෙම ක‍්‍රමයයි...තමාගෙන්ම ආරම්භ කර ක‍්‍රම ක‍්‍රමයෙන් තම වටපිටාවේ සිට ප‍්‍රදේශ වශයෙන් පුලූල් වෙමින් මෛත‍්‍රී සිත පැතිර වීමේ ක‍්‍රමය යි. මම වෛර නැත්තෙක් වෙම් වා...! තරහ නැත්තෙක් වෙම් වා...! ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම් වා...! දුක් පීඩා නැත්තෙක් වෙම් වා...! සුව සේ ජීවත් වෙම් වා...! ශාන්ත සුවයට පත් වෙම් වා...



මේ ආකාරයෙන්ම,

  • මා මෙන් ම මේ නිවසේ/ස්ථානයේ සිටින සියලූ සත්වයෝ...
  • මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ...
  • මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ...
  • මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ...
  • මා මෙන් ම මේ රටෙහි සිටින සියලූ සත්වයෝ...
  • මා මෙන් ම මේ ලෝකයෙහි සිටින සියලූ සත්වයෝ...
  • මා මෙන් සියලූම ලෝකවල සිටින සියලූ සත්වයෝ...

මේ ක‍්‍රම දෙකම හෝ එක් ක‍්‍රමයක් හෝ මෛත‍්‍රිය වැඞීම සදහා යොදා ගත හැකි ය. භාවනාව තුළ නොයෙදෙන අමතර විවේක වූ පහසු වේලාවන් තුල ද මෛත‍්‍රී සිතිවිලි මෙනෙහි කිරීම භාවනාවේ වඩා සාර්ථකත්වයට ඉවහල් වෙයි. අවශ්‍ය වන්නේ මෛත‍්‍රී සිතිවිලි තුළ ම තම සිත යෙදවීම යි. බොහෝ අය මෛත‍්‍රිය වැඞීම තුල ලැබිය හැකි ප‍්‍රතිපල නොදන්නේ ය..එයට හේතුව එය සරල භාවනාව ක් ලෙස සිතා යම් අවස්ථාවලදී කෙටි වේලාවකට සීමා කොට නැවත භාවනාවේ නොයෙදීම ය. යම් දවසෙහි කාලයක් වෙන් කොට භාවනාවෙහි යෙදී නොකඩවා දෛනිකව සිදු කලහොත් ඔබ එහි ප‍්‍රතිඵල සත්‍යවශයෙන් ම ලබනු නොඅනුමාන යි.

සියල්ලෝ ම අප‍්‍රමාදී වෙත් වා...!

තෙරුවන් සරණයි...!

 

අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා..

අබ්යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා..

අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා..

සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා..



අහං විය මය්හං – මා මෙන් ම මාගේ,

ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්යායන් වහන්සේලා ද,

මාතා පිතරෝ – මව් පියවරු ද,

හිත සත්තා – හිතවත් සත්වයෝ ද,

මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද,

වේරීසත්තා – වෛරී සත්වයෝ ද,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,

අබ්යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..

අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..

සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..

දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..

යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත්වලින් නො පිරිහෙත්වා..

කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහුය.



ඉමස්මිං විහාරේ – මේ විහාරයේ සිටින,

ඉමස්මිං ගෝචර ගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින,

ඉමස්මිං නගරේ – මේ නගරයේ සිටින,

ඉමස්මිං ලංකාදීපේ – මේ ලංකාදීපයේ සිටින,

ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිව් තලයේ සිටින,

ඉමස්මිං චක්කවාළේ – මේ සක්වලෙහි සිටින,

ඉස්සර ජනා – අධිපති ජනයෝ,

සීමට්ඨක දේවතා – සීමා වාසී දෙවිවරු,

සබ්බේ සත්තා – සියලු සත්වයෝ,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,

අබ්යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..

අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..

සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..

දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..

යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත්වලින් නො පිරිහෙත්වා..

කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහුය.



පුරත්ථිමාය දිසාය – නැගෙනහිර දිශාවේ සිටින,

දක්ඛිණාය දිසාය – දකුණු දිශාවේ සිටින,

පච්ඡිමාය දිසාය – බටහිර දිශාවේ සිටින,

උත්තරාය දිසාය – උතුරු දිශාවේ සිටින,

පුරත්ථිමාය අනුදිසාය – නැගෙනහිර අනුදිශාවේ සිටින,

දක්ඛිණාය අනුදිසාය – දකුණු අනුදිශාවේ සිටින,

පච්ඡිමාය අනුදිසාය – බටහිර අනුදිශාවේ සිටින,

උත්තරාය අනුදිසාය – උතුරු අනුදිශාවේ සිටින,

හෙට්ඨිමාය දිසාය – යට දිසාවේ සිටින,

උපරිමාය දිසාය – උඩ දිසාවේ සිටින,

සබ්බේ සත්තා – සියලු සත්වයෝ,

සබ්බේ පාණා – සියලු ප්රාණීන්,

සබ්බේ භූතා – සියලු භූතයෝ,

සබ්බේ පුග්ගලා – සියලු පුද්ගලයෝ,

සබ්බේ අත්තභාවපරියාපණ්ණා – ජීවිතයක් ලබා ගත්සියලු සත්වයෝ,

සබ්බා ඉත්ථියෝ – සියලු ස්ත්රීන්,

සබ්බේ පුරිසා – සියලු පුරුෂයෝ,

සබ්බේ අරියා – සියලු ආර්යයෝ,

සබ්බේ අනරියා – සියලු අනාර්යයෝ,

සබ්බේ දේවා – සියලු දෙවියෝ,

සබ්බේ මනුස්සා – සියලු මනුෂ්යයෝ,

සබ්බේ අමනුස්සා – සියලු අමනුෂ්යයෝ,

සබ්බේ විනිපාතිකා – සියලු අපායවාසී සත්වයෝ,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,

අබ්යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..

අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..

සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..

දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..

යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත්වලින් නො පිරිහෙත්වා..

කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහුය.



සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝසුවපත් වෙත්වා..!

සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝසුවපත් වෙත්වා..!!

සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝසුවපත් වෙත්වා..!!!