by Ven. N. Suwachaseela
29 Monday 2019

බෞද්ධයන් වශයෙන් අප සෑම දෙනාගේ ම ඉලක්කය වන්නේ සත්‍යාවබෝධය කරගැනීමයි. සත්‍යාවබෝධය යනු සත්වයා හා ලෝකය පිළිබඳ හේතු ඵල දහම පත්‍යක්ෂ කරගැනීමයි. නිවන් දැකීම යනුවෙන් අදහස් කරන්නේ ද මෙයයි. නිර්වාණාවබෝධය සඳහා පුද්ගලයාගේ ම ශක්තිය හා ව්‍යායාමය ඉතා වැදගත් වේ. එහෙත් එයටත් වඩා වැදගත් වන කාරණය නම් නිවැරදි ශාස්තෘත්වයක අවශ්‍යතාවයි. නිවැරදි ශාස්තෘන් වහන්සේ කෙනෙකුගෙන් ලැබෙන පණිවුඩය ද නිවැරදි වේ. එම නිවැරදි මාර්ගය සම්මා ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කළ ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. එම නිවැරදි පණිවුඩය ග්‍රහණය කරගැනීමට නම් පළමුවෙන්ම එම මාර්ගය දේශනා කළ ශාස්තෘත්වය විශ්වාස කළ යුතු ය. තථාගතයන් වහන්සේ ගේ අවබෝධය, උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳ ඇති විශ්වාසය ශ්‍රද්ධාව වේ. මේ තුළින් ශ්‍රද්ධාවේ ප්‍රායෝගික අවශ්‍යතාවය කොතරම් දුරට උපයෝගී වෙතැයි පැහැදිළි වේ.

ශ්‍රද්ධාව උපදවාගත යුත්තේ ඇයි?

තථාගතයන් වහන්සේ කෙරෙහි ශාස්තෘ ප්‍රසාදය හෙවත් පැහැදීම උපදවාගත යුතු වන කාරණා කීපයක් සූත්‍ර ධර්ම අනුසාරයෙන් පැහැදිළි කරගත හැකිය. සංයුක්ත නිකායේ එන සම්බුද්ධ සූත්‍රයේ මෙසේ සඳහන් වේ.



තථාගතො භික්ඛවේ සම්මා සම්බුද්ධො අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා. අසඤ්ජාතස්ස මග්ගස්ස සංජනෙතා. අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා. මග්ගඤ්ඤ මග්ගවිදු මග්ග කොවිදො මග්ගානුගා ච භික්ඛවෙව් එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතා.

බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය උපදවති. නොහැඳින ඇති මාර්ගය හඳුන්වා දෙති. වෙන කෙනෙකු විසින් අප්‍රකාශිත මාරගය කියා දෙති. මාර්ගය දනිති. මාර්ගය දකිති. මාර්ගයේ හි නිපුණ වෙති. මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ මාර්ගය අනුව යන්නෝ වෙති. පසුව පැමිණියාහු වෙති.



මේ අනුව පැහැදිළි වන්නේ සියලුම බුද්ධ ශ්‍රාවකයන් පළමුවෙන්ම තථාගතයන් වහන්සේ වදාළ මාර්ගයේ ගමන් කරන බවත් පසුව සත්‍යාවබෝධයට පත්වන බවත් ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශාස්තෘ ප්‍රසාදයට පැමිණීමේ අවශ්‍යතාව, මෙයින් පැහැදිළි වේ. එසේ නම් ශ්‍රද්ධාව යනු කුමක්ද යන පැනයට නිවැරදි පිළිතුර වන්නේ ශ්‍රද්ධාව යනු ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත්කළ හැකි ධර්මයක් පිළිබඳ ව මූලිකව ඇතිකරගන්නා පිළිගැනීමයි. අර්ථ විරහිත හා ඥාණ විභාගීය පදනමින් තොර වූ පිළිගැනීමක් හෝ විශ්වාසයක් පිළිබඳ ව මෙයින් කියැවෙන්නේ නැත. එමෙන්ම ශ්‍රද්ධාව යනු තථාගතයන් වහන්සේගේ බෝධිය අදහන සුලු භාවයයි. බෝධිය යනු අවබෝධයය. මෙම කාරණය සංයුක්ත නිකායේ දුතිය විභංග සංයුක්තයේ සඳහන් වේ. මේ අනුව සැදැහැති බෞද්ධයෙකු තුළ පළමුවෙන්ම ඇති කරගත යුතු වන විශ්වාසය නම් තථාගතයන් වහන්සේගේ බුද්ධත්වයයි. මෙම විශ්වාසය තුළින් තථාගතයන් වහන්සේ වදාළ මාර්ගය පිළිබඳ විශ්වාසය ද ඇති වේ.

ශ්‍රද්ධාව, බෞද්ධ ප්‍රතිපදාවේ ආරම්භයට ඉවහල් වන අයුරු

පුහුදුන් ත්තවය සිට ආර්ය මාර්ගය සහ පිළිවෙළින් ආර්ය සත්‍යාවබෝධය දක්වා ඇත්තේ අනු පිළිවෙලින් එන ප්‍රතිපාදාවකි. එය සූත්‍ර ධර්මවල හඳුන්වා ඇත්තේ අනුපුබ්බ සික්ඛා සහ අනුපබ්බ පටිපදා යනුවෙනි. ආර්ය මාර්ගයට නවකයෙකු වන කෙනෙකු තුළ පිරිපුන් හා වැඩුණු ප්‍රඥාවක් අපේක්ෂා කළ නොහැකිය. ශ්‍රද්ධාව පාදක කරගනිමින් අනුපිළිවෙලින් මෙම මාර්ගය වැඩිය යුතු බව සූත්‍ර ධර්මවල සඳහන් වේ. මජක්‍ධිම නිකායේ එන කීටාගිරි සූත්‍රයේ අනුපූර්ව ශික්ෂාව කෙබඳු ද යන්න පැහැදිළි කොට තිබේ.



කතඤ්ච භික්ඛවේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤරාධනා හොති ඉධ භික්ඛවේ සද්ධා ජාතො උපසංඛමති උපසංකමන්තො පයිරුපාසති පයිරුපාස තො සොතං ඕදහති.......

ඉහත සඳහන් කාරණවෙන් පැහැදළි කරන්නේ අනුපූර්ව ප්‍රතිපදාව සිදුවන ආකාරයයි. මෙහි දී පළමුවෙන් ම ශ්‍රද්ධාව උපදවාගත් පූද්ගලයා සම්‍යක් දෘෂ්ටිය ප්‍රකාශ වන තැනට එළඹෙයි. මෙයි අදහස් කරන්නේ ධර්මය සොයා යාමයි. ධර්මය ප්‍රකාශ වන ස්ථානයට එළඹ සමිපයේ හි හිඳගනියි- හිඳ සවන් යොමු කරයි. මනාව යොමු කරන ලද කනින් දහම් අසයි. ධර්මය අසා එය ධාරණය කරගනියි.  එම දැරූ ධර්මයේහි අර්ථ පරික්ෂා කරයි. අර්ථ පරික්ෂා කිරීමෙන් ධර්මය වැටහෙන්නට පටන් ගනියි. මේ නිසා තථාගතයන් වහනසේගේ මාර්ගයේහි හැසිරීමට කැමැත්ත ඇතිවේ. කැමැත්ත ඇතිවීම නිසා එයට උත්සහවන්ත වෙයි. උත්සහය නිසා අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම යන ත්‍රිලක්ෂණ මෙනෙහි කිරීමට යොමු වේ. මේ වන විට සැදැහැති පුද්ගලයා සම්‍යක් දෘෂ්ටියට පත්ව ඇති බව කිව හැකිය. මෙසේ ත්‍රිලක්ෂණ ධර්මය මනසිකාරයට යොමු වීම පුද්ගලයාගේ පධන් වීර්යයට බලපායි. පධන් වීර්යය යනු කෙලෙස් ධර්මයන් යටපත් කිරීමට දරන නොනවතින උත්සහයයි- අප සතර සම්‍යක්ප්‍රධාන යනුවෙන් හඳුන්වන්නේ ද මෙම පධන් වීර්යයි. මෙම පධන් වීර්යය නිසා නාම කයින් පරම සත්‍යය සාක්ෂාත් කරගනියි. ප්‍රඥාවෙන් එය ප්‍රතිවේධ කොට දකියි. මෙම උතුම් වූ සත්‍යාවබෝධය දක්වා ගමන ආරම්භ වන්නේ ශ්‍රද්ධාව පටන් ය. මේ නිසා ශ්‍රද්ධාවෙන් තොරව සත්‍යාවබෝධය කළ නොහැකිය.

නොවෙනස්වන විශ්වාසය හෙවත් අචල ශ්‍රද්ධාව

තථාගතයන් වහන්සේ කෙරෙහි නොවෙනස්වන විශ්වාසය හෙවත් අචල ශ්‍රද්ධාව ඇතිකරගැනීම, මෙහි දී ඉතා වැදගත් වේ. තථාගතයන් වහනසේ හා සතර මග සතර ඵල යනුවෙන් සඳහන් වන බුද්ධාදී අට තැන් පිළිබඳ ඇතිකරගන්නා විශ්වාසය හෙවත් දුරු කළ සැකයන් ඇති බව, දස සංයෝජන ධර්ම වලින් විචිකිච්ඡා සංයෝජනය ප්‍රහාණය කිරීමට ද අයත් වේ. නිර්වාණාවබෝධය සඳහා වඩන මාර්ගයේ පළමුවන පියවර වන සෝවාන් මාර්ගය තුළ සිටින ආර්ය ශ්‍රාවකයා තුළ, අචල ශ්‍රද්ධාව ජනිත වී අවසන් වන අතර සෝවාන් ඵලයට පත්වන විට විචිකිච්ඡාව සමග තවත් සංයෝජන ධර්ම දෙකක් ප්‍රහාණ වේ. මෙහි අදහස සෝවාන් ඵලයට පත්වූ ආර්ය ශ්‍රායකයාහට බුද්ධා දී අටතැන් පිළිබඳ කිසිඳු සැකයක් නොමැති බවයි. එමෙන්ම එම පුද්ගලයා ඒකාන්තයෙන් සත්‍යාවයෝධය කරගනී.

අචල ශ්‍රද්ධාව ආර්ය සත්‍යය අවබෝධ කිරීම දක්වා තිබිය යුතතකි. සත්‍යාවබෝධයට පත්වීමෙන් පසුව ශ්‍රද්ධාව අවශ්‍ය වන්නේ නැත. මේ වන විට ආර්ය ශ්‍රාවකයා ධර්මය ප්‍රත්‍යක්ෂ කොට අවසන් බැවින් තවදුරටත් එම ධර්මය විශ්වාස කිරීම අර්ත විරහිත ක්‍රියාවකි. එහෙත් එ දක්වා මාර්ය තුළ ශ්‍රද්ධාව යන සිතුවිල්ල විශාල ලෙස ඉවහල් වේ. මේම වැදගත්කම නිසාම බුදුසමය තුළ ශ්‍රද්ධාව යන්නට විවිධ විවරණ සැපයෙනු දක්නට ලැබේ.

1.   සද්ධා ඉන්ද්‍රිය

2.    සද්ධා බල

3.    සද්ධා ධන

4.    සද්ධා සම්පදා

ඉහත සඳහන් වන්නේ ශ්‍රද්ධාව යන්න විවිධ ධර්ම කාරණාවලදී විවිධ අර්ථයෙන් යොදාගෙන ඇති ආකාරයයි. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් ලෙස දක්වන අවස්ථාවේදී එය වැඩිය හැකි ධර්මතාවක් ලෙස දක්වා තිබේ- සද්ධා, සති, විරිය, සමාධි හා පඤ්ඤා යන පංච ඉනද්‍රිය ධර්මයන් වල සද්ධා ඉන්ද්‍රිය පූර්වංගම වන අයුරු ඉහතින් පැහැදිළි වේ. සද්ධින්ද්‍රිය මුහුකුරා යාම, ධර්මාවබෝධයට හේතු වේ. මෙම ඉන්ද්‍රිය ධර්මය ම බල ධර්මයක් වන අයුරු සද්ධා බල යනුවෙන් සඳහන් වීමෙන් දැනගත හැක. සද්ධා පූර්වංගම වන ඉහත ධර්මතා වල අවසානය හෙවත් ප්‍රතිඵලය වන්නේ ප්‍රඥාවයි. විමුක්ති සුවය අපේක්ෂා කරන්නෙකුගේ පරමාර්ථය හා ආවසානික ඉලක්කයේ ආරම්භක පියවර ශ්‍රද්ධාව වන සැටි මෙයින් පැහැදිළි ය. නිවන වඩන්නාට යන මාර්ගය සඳහා අවශ්‍යවන මාර්ගෝපකරණ අතර පළමුවන උපකරණය නම් ශ්‍රද්ධාව වන බව අංගුත්තර නිකායේ සංචිත්තන සූත්‍රය තුළින් විද්‍යමාන වේ. එහිදී සද්ධා ධන ලෙස ශ්‍රද්ධාව ධනයක් වශයෙන් දක්වා තිබේ.

සද්ධා ධනං සීල ධනං-හිරිඔත්තප්පියං ධනං

සුත ධනං ච චාගො ච-පඤ්ඤා මෙ සත්තමං ධනං

යස්ස එතෙ ධනා අත්ථි - ඉත්ථියා පුරිසස්ස ච

අදලිද්දොති තං ආහු - අමොසං තස්ස ජීවිතං

අංගුත්තර නිකායේ එන සංචිත්තන සූත්‍රයේ ආර්ය ධන 7ක් පිළිබඳව සඳහන් වේ. එහි දී පළමු වන ධනය වන්නේ ශ්‍රද්ධාව නැමැති ධනයයි. මෙහිදී ධනය යනුවෙන් අදහස් කරන්නේ මිළ මුදල් නොව සැබෑ වත්කමයි. ශ්‍රද්ධාව මෙන්ම සීලය, ලැජජාව, බය, ඇසූපිරූ තැන් ඇති බව, ත්‍යාගශීලි බව හා ප්‍රඥාව යන කාරණා හත, ආර්ය ධනයන් වේ. ඉහත සඳහන් වන දෙවන ගාථාවෙන් අදහස් කරන පරිදි, යමෙකුට මෙම ධනයන් ඇතිනම් එය පුරුෂයෙක් වුවද ස්ත්‍රියක් වුව ද, දිළිඳු නොවන බවත් එම ජීවිතය ආර්ය වූ මෝහ සම්පන්න නොවූ ජීවිතයක් බවත් අවධාරණය වේ. එමනිසා ආර්ය මාර්ගයට කැමැත්ත ඇති, සත්‍යාවබෝධයට කැමැති උපාසකයෙකු හෝ උපාසිකාවකු විසින් තථාගතයන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගැනීම, බෞද්ධ ප්‍රතිපදාවේ මූලික පියවර බව සඳහන් කළ හැකිය. එමනිසා යමෙකු තුළ ඇතිවන ශ්‍රද්ධාවේ මුහුකුරා ගිය බව, නොවෙනස්වන බව, අචල වූ ස්ථාවර බව බෞද්ධ ප්‍රතිපදාව තුළ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට බෙහෙවින් ඉවහල් වේ.