by Ven. N. Suwachaseela
21 Sunday 2019

මරණයෙන් ගැලවීම‌ට මෙන්ම තමා විසින් කරන ලද පාප කර්ම වලින් ගැලවීමට ද මිනිසුන් උත්සහ කරන බව සමාජය දෙස විවෘත මනසින් බලන විට පැහැදිළි වේ. ඒමෙන්ම, තමා ජීවත්ව සිටින කාලයේ දී පින්කම් කළ හැකි අවස්ථාවන් මොනවට තිබියදී ද, පව්කම් වලට හා අකුසල කර්මවලට ම පමණක් යොමු වී තමාටත් අනුන්ටත් අනර්ථයක් ම වන සේ ජීවත් වන පුද්ගලයින් කොතෙකුත් සිටී. මෙසේ අකුසල ධර්මවල යෙදෙන්නේ එම කර්මවලට අනුරූපී විපාකයක් නොමැති බව සිතන නිසාද, නෙැතොත් ඒයින් ගැලවීමට හැකි වන බව සිතන නිසාද යන්න දැනගත නොහැකි කරුණකි. කෙසේ වෙතත් බුදු වදනට අනුව නම් තමා කරන කිසිම අකුසල කර්මයක විපාකයකින් ගැලවිය නොහැකි ය. ඒමනිසා නොපමාව හීන වූ ලාමක වූ අකුසල ධර්ම වලින් වැළකිය යුතු බව බුද්ධානුසාශනාවයි. ධම්මපදයේ නවවන පාප වර්ගයේ එන ගාථාවකින් පැහැදිළි කොට ඇත්තේ ලෝකයේ කොහේ සිටියත් පව්කම්වලින් ගැලවිය හැකි තැනක් සොයාගත නොහැකි බවයි.

න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ

න පබ්බතානං විවරං පවිස්ස

න විජ්ජතී සො ජගතිප්පදෙසො

යත්ථට්ඨිතො මුච්චෙය්‍ය පාපකම්මා.

යම් තැනෙක්හි සිටි සත්වයා මරණය තෙම නොමඩීද එබඳු භූමි ප්‍රදේශයක් නැත. ආකාශයෙහිද නැත. මුහුද මැදද නැත. පර්වතයන්ගේ විවරයට වැදද නැත.

ඉහත ගාථාව මුල් කරගනිමින් ධර්මදේශනාවක් බුදුරදුන් දෙව්රම් වෙහෙර වාසයකරන කාලයේ මිනිසුන් තුන්දෙනෙක් නිමිතිකරගෙන දේශනා කරන ලදි.

නිදාන කථාව

ශාස්තෘන්වහන්සේ දෙව්රම්හි වාසයකරන කාලයේ බුදුන් දකිනු පිණිස යන භික්‍ෂූන්වහන්සේලා එක් ගමකට පිඬු පිණිස වැඩියහ. ගම්වැසියෝ ඒ පැමිණි භික්‍ෂූන් කැඳවාගෙන ගොස් ආසන ශාලාවෙහි වඩාහිඳුවා කැඳඅවුළුපත් දී පිණ්ඩපාත වේලාව එනතුරු බණ අසමින් සිටියහ. එකෙණෙහි බත් උයා සූපව්‍යංජන උයමින් සිටි ස්ත්‍රියකගේ භාජනයක් තුළින් නැගුණු ගිනිජාලාවක් උඩට ගොස් වහළයට වැදුණේය. එහි එක් පිදුරු ගසකට ගිනි ඇවිළී දැල්වෙමින් අහසට නැගුණේය. එකෙණෙහිම එක් කපුටෙක් පියාඹා යන අතර ඒ ගිනිගත් ගොයම්කරලකට හොට පොවා දැවී ගම මැද වැටුණේය. භික්‍ෂූහු එය දැක, අනේ, පුදුමයක්. බලන්න මේ කාකයෙක් විපිළිසරපත්වූ යයි කියා, මොහු කළ පාපකර්මය වෙන කාටවත් බලාගත නොහැකිය. එය ඇසිය යුත්තේ බුදුන්ගෙන්මයයි සිතා නික්මී ගියහ.

බුදුන් දකිනු පිණිස නැව් නැගී එන භික්‍ෂු පිරිසකගේ නැව මුහුදේ මැදදී නැවතිණි. එහි සිටි මිනිස්සු මේ නැවේ කවුරු හෝ කාලකණ්ණියෙක් සිටිය යුතුයයි සිතා එය පරීක්‍ෂා කිරීමට සීට්ටු දැමූශ. (තැටියක වතුර පුරවා තමන්ගේ නම ලියා ඒ තළියට දමා බැලීම) නැවියාගේ බිරිඳද එහි විය. ඈ දර්ශනීය, ප්‍රිය උපදවනසුලු තරුණ තැනැත්තියකි. ඒ භාර්යාවට වාරය පැමිණි කල ඇගේ නම ලිවූ සීට්ටුව තලිය පතුළට ගියෙය්. තුන් වරක්ම දමා බැලූ කල තුන්වාරයේම එය දිය යටට ගියේය. මිනිස්සු ඉන්පසු නැවියාගේ මූණ බැලූහ.

නැවියා, එක් ස්ත්‍රියක් නිසා මහාජනයා නැසීම කළ නොහැකියයි මෑ ජලයට දමව්යයි කීවේය. ඈ රැගෙන දියෙහි දමන විට මරණභයෙන් තැතිගත් ඈ මහහඬින් හැඬුවාය. ඒ ඇසූ නැවියා මෑ ආභරණ පිටින් නසා දැමීම පාඩුවකියි ආභරණ ගළවාගෙන, රෙදි කැබැල්ලක් හැඳ පෙරවා ඈ දියට දමව්. මම මැය දිය මතුපිට දඟලමින් යනු දකින්ට කැමති නොවෙමි. ඒ නිසා ඈ මට නොපෙනෙන හැටියට මැයගේ කරේ වැලි පිරවූ කළයක් ගැට ගසා දමව්යයි නියෝග කෙළේය. මිනිස්සු එසේ කළහ. ඈ වැටුණු තැනම මසුන් කැසුබුවන් විසින් විනාශකර දමනලදි.

භික්‍ෂූහු ඒ පුවත දැක, බුදුන් හැර මැය විසින් පෙර කළ කර්මය දන්නෙක් නැතැයි, බුදුන්ගෙන්ම මෙය අසා බලන්නෙමුයයි කැමති තැනට අවුත් නැවෙන් බැස ගියාහුය.

තවත් භික්‍ෂූන් සත්නමක් බුදුන් දකින්ට යන ගමන් සවස එක් විහාරයකට පැමිණ නැවතීමට තැනක් අසා බැලූහ. ඒ ළඟ එක් ගල්ලෙණක ඇඳන් සතක් තිබුණේය. ඔවුන්ට ඒ ඇඳන් හතම ලැබී එහි ගොස් නිදා සිටිද්දී මහරෑ කුළුගෙයක් පමණ ගලක් පෙරළී අවුත් ලෙණෙහි දොරටුව වැසී ගියේය. නේවාසික භික්‍ෂූහු අපි මේ ලෙණ ආගන්තුක භික්‍ෂූන්ට පැවරුවෙමු. මේ ගලත් ලෙණෙහි දොරටුව වසමින් වැටුණේය. මෙය ඉවත් කරමුයයි අවට ගම්හතක මිනිසුන් රැස්කරවා වෑයම් කළ නමුත් නොහැකිවිය. දින හතක් යන තුරුම ගල සොලවා ගැනීමට පවා නොහැකිවිය. ආගන්තුක භික්‍ෂූහු දිනහතක්ම බඩසාදුකින් මහදුකක් වින්දහ.

සත්වෙනි දිනයේ ගල තමන්ම පෙරළී පහවී ගියේය. ඒ භික්‍ෂූහු ලෙනෙන් එලියට අවුත්, අපේ මේ පාපකර්මය බුදුන් හැර වෙන කිසිවෙකුටත් දැනගත නොහැකිය. මෙය බුදුන්ගෙන්ම අසන්නෙමුයයි ගියහ. ඒ භික්ෂූහු පෙර පිටත් වී ආ භික්‍ෂූන් හා එක්ව බුදුන් හමුවට පැමිණ තමන් අත්දුටු කරුණු පිළිවෙලින් විමසූහ. බුදුරජාණන්වහන්සේත් ඒ ප්‍ර‍ශ්න පිළිවෙලන් විසඳූසේක.

මහණෙනි, ඒ කපුටා තමන් කළ කර්මයම අනුභව කෙළේය. අතීත කාලයේ බරණැස එක් ගොවියෙක් තමන්ගේ ගොනුන්සීසෑම් ආදියට පුහුණු කරන්ට වෑයම් කළත් ගොන් දමනය කර පුහුණු කරන්ට නොහැකි විය. ඔහුගේ ගොන්නු ටිකදුරක් ගොස් බිම වැටෙති. තළා උඩට ඔසවා තැබුවත් තව ටිකක් ගොස් වැටෙති. හෙතෙම වෑයම් කොට ගොනුන් පුරුදු කර ගැනීමට නොහැකිව ක්‍රෝධයෙන් දැවී ඉතින් එහෙනම් තෙපි මෙතනම නිදා ගනිව්යයි කියා ගොනුන්ට ගෙනා පිදුරුමිටියක් ගෙනවුත් මුළු සිරුරම වෙළා ගිනි තැබුවේය. ගොන්නු දැවී එතැනම මිය ගියෝය. මහණෙනි, ඒ ගොවියා මේ කපුටාය. ඔහු කළ පාපකර්මය මෙයයි. හෙතෙම එහි විපාක වශයෙන් දිගු කලක් නිරයේ පැසී සත්වරක් කාකයෝනියෙහි ඉපදී මෙසේ අහසේදීම දැවී මළේය.

මහණෙනි, ඒ ස්ත්‍රියත් තමන් කළ කර්මවලටම විපාක අනුභව කළාය. අතීතයෙහි බරණැස එක් ගෘහපතියෙකුගේ බිරිඳ වී, දිය ගෙනඒම, වී කෙටීම, පිසීම ආදි සියලු වැඩ සියතින්ම කළාය. ඈ ඇති කළ එක් බල්ලෙක් ඒ ගෙදර සියලු වැඩ කරන දෙස බලමින් ඈ සමගම සිටියි. කුඹුරට බත් ගෙන යනවිට, දර කොළ ආදිය ගෙන ඒමට කැලයට යනවිට ඈ සමගම යයි. ඒ දුටු තරුණයෝ, අරේ බලුවැද්දා පිටත්ව සිටී. අපි අද මාංශ සහිතව කන්නෙමුයයි කෙනෙහිලි කරති. ඈ ඔවුන්ගේ කථාවෙන් ලජ්ජාවී බල්ලාට කැටදඬු ආදියෙන් පහර දී එලවා දමය. බල්ලා නැවතී යළි පසුපසින් යයි.

ඒ බල්ලා වනාහි මීට භව තුනකට පෙර ඇගේ ස්වාමියා විය. එනිසා ඒ ස්නේහය සිඳ දැමීමට නොහැකිවිය. මේ අගක් කොණක් නැති සංසාරයෙහි ස්වාමියෙකු හෝ භාර්යාවක නොවුණු කෙනෙක් නැත. ළඟම ආත්මභාවවල නෑදෑයන් කෙරෙහි බලවත් ස්නේහය පවතී. ඒ නිසා ඒ සුනඛයා ඒ ස්නේහය හැර දමන්ට අපොහොසත් විය.

ඈ ඌ හා නොමනාපයෙන්, සැමියාට කැඳ බත් රැගෙන වැල්පොටකුත් බෙල්ලේ ලාගෙන කුඹුරට ගියාය. සුනඛයාත් ඈ සමගම ගියේය. ඈ සැමියාට කැඳ දී හිස් කළය රැගෙන එක් දියවලකට ගොස් කළය දියෙන් පුරවාගෙන ළඟ සිටි සුනඛයාට කථා කළාය. සුනඛයාත් කලකින් අද මට මිහිරි කථා ශබ්දයක් ඇසුණේයයි වළිගය සොලවමින් ඈ වෙත පැමිණියේය. ඈ සුනඛයාගේ බෙල්ල තදින් අල්වා ගෙන එක් වැල්කෙළවරක් කළයේ බැඳ එක් වැල්කෙළවරක් සුනඛයාගේ බෙල්ලෙහි බැඳ කළය වතුරට දැම්මාය. කළය අනුව පෙරළීගෙන ගිය සුනඛයා වලට වැටී ගිලීගොස් මරණයට පත්විය. ඈ ඒ පව්කමේ විපාකයෙන් දිගුකලක් නිරයේ පැසී විපාකය අවසන් නොවී භව සියයක් වැලිකළයක් බෙල්ලේ බැඳගෙන ජලයෙහි වැටී මළේය.

මහණෙනි, තෙපිත් තමන් කළ කර්මවලට විපාක අනුභව කළාහුය. අතීතයේ බරණැස ගොපලුදරුවෝ සත්දෙනෙක් එක් කැලෑ පෙදෙසක සතිය බැගින් සත්වරක් ගෙනුන් කවා එන අතරමග එක් විශාල තලගොයෙකු දැක ඌ පිටුපස එලවා දිවූහ. ගොයා පලාගොස් එක් තුඹසකට රිංගුවේය. ඒ තුඹසේ සිදුරු සතක් විය. දරුවෝ, අපට දැන් මූ අල්වාගන්ට නොහැකිය. හෙට අවුත් අල්වා ගනිමුයයි කියා එක එකා එක බැගින් අතුකොළමිටි ගෙනවුත් බිල් සිදුරු හත වසා ගියහ.

ඔවුහු දෙවෙනි දිනයේ ඒ තලගොයා ගැන අමතකකොට කැලෑ ප්‍රදේශයෙහි හරකුන් එලවා ගෙන එනවිට ඒ තුඹස දැක එය සිහිවී ඒ ගොයාට කුමක් සිදුවී ඇද්දැයි තමතමන් වසා දැමූ සිදුරු විවෘත කළහ. තලගොයා ජීවිතය පිළිබඳ ආශාවෙන් තොරව ඇටත් සමත් ඉතිරිව වෙවුලමින් නික්මුණේය. ඔවුහු ඒ දැක අනුකම්පා උපදවා ඌ නොමරව්. සත්දිනක් බඩගින්නේ සිටියේයයි උගේ පිට පිරිමැද සැපසේ යවයි පිටත්කර හැරියෝය. ඔවුහු ගොයා නොමැරූ හෙයින් නරකයෙහි නොපැසුණාහ. සතිදෙකක් එකතුව ආත්මභාව දහහතරක් සත්දිනය බැගින් බඩගින්නේ සිටියහ.

මහණෙනි, තෙප ගොපල්ලන්ව ඒ කර්මය කරනලදැයි මෙසේ බුදුරජාණන්වහන්සේ ඒ භික්‍ෂූන් විචාළ පැනය විසඳූහ. ඉන්පසු එක් භික්‍ෂුවක් බුදුරදුන්ගෙන්, ස්වාමීනි එබඳු පව්කම් කරන්නවුන්ට අහසේ ඉහළටත්, මුහුදේ පතුළටත්, පර්වතයන්ගේ මැදටත් පිවිස හෝ මිදීමක් නැත්තේදැයි ඇසීය. බුදුරජාණන් වහන්සේ මහණ එසේමය. යම් තැනක සිට පව් කළොත් ආකාශාදි කිසිම ප්‍රදේශයක සිට හෝ එයින් මිදීමක් නොලැබිය හැකියයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:

අහසෙහි උඩට හෝ

මුහුදෙහි පතුලටම හෝ

පර්වත මැදට ගොස් හෝ

පව්කර සිටින කෙනෙකුට

මෙකියන තැන්වලට ගොස්

මිදෙන්නට කිසිදාක නොලැබේ

එහි අර්ථය නම්, ඉදින් යම්කිසිවෙක් මේ උපායෙන් පව්කර මිදෙන්නෙමියයි අහසෙහි හෝ ඉඳියිද, අසූහාරදහසක් යොදුන් මුහුදු පතුලෙහි පිවිසෙයිද, පර්වත මැදකට ගොස් හෝ හිදයිද, එසේවුවත් පව්කමින්න්ම මිදිය නොහැකිය. පෙරදිග ප්‍රදේශවල පෘථිවි භාගයන්හි වලිගයක අග පමණවූ තැනක සිටියත් එයින් මිදීමට ඉඩක් නැත. ඒ කිසිම තැනක පව්කම්වලින් මිදීමට නොහැකිය යන අර්ථයයි.

දේශනාවසානයෙහි ඒ භික්‍ෂූහු සෝවාන්ඵලාදියට පැමිණියාහුය. සපැමිණි මහාජනයාටත් ඒ ධර්මදේශනාව සාර්ථකවිය.