by Ven. N. Suwachaseela
29 Monday 2019

බුදුරජාණන් වහන්සේ උත්තරීතර මනුෂ්‍යයෙක් වන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් නොවන්නේ උන්වහන්සේ තුළ ඇති ඒ සුවිශේෂී ආධ්‍යාත්මික ගුණ විශේෂය නිසයි. මේවා බුදුරජාණන් වහන්සේටම පමණක් ඇති ගුණ වන අතර නව අරහාදී බුදුගුණ සිහිපත් කිරීමේ දී අප මෙනෙහි කරනුයේ ඒ් මහා ගුණ සාගරයෙන් නවයක් පමණි. බුදු කෙනෙකුගේ ගුණ සම්භාරය ගණන් කළ නොහැකි අතර ඒත අචින්ත්‍ය ද වේ. මෙම ආර්ය ශාසනයේහි සද්ධා සම්පත්තියට පැමිණීම යනු පළමුවෙන්ම නව අරහාදී බුදුගුණ  පිළිබද පැහැදීමට පැමිණීමයි. මෙසේ සද්ධා පටිලාභයට පැමිණීමට හේතුවන මූලික කාරණාවක් වන්නේ තථාගතයන් වහන්සේගේ ගුණයන් දැකීමයි. මෙයින් තථාගත ඥානය පිළිබද විශ්වාසය ඇතිවේ. සද්ධින්ද්රිය මුහුකුරා යාමට හා ඒහි වැඩීමට තථාගතයන් වහන්සේගේ ගුණයන් අදහන සුලු බව හේතුවන ආකාරය සංයක්ත නිකායේ ඒන විභංග සුත්රයේ දක්වා තිබේ.

කතමඤ්‌ච, භික්‌ඛවෙ, සද්‌ධින්‌ද්‍රියං? ඉධ, භික්‌ඛවෙ, අරියසාවකො සද්‌ධො හොති, සද්‌දහති තථාගතස්‌ස බොධිං ඉතිපි සො භගවා අරහං සම්‌මාසම්‌බුද්‌ධො විජ්‌ජාචරණසම්‌පන්‌නො සුගතො ලොකවිදූ අනුත්‌තරො පුරිසදම්‌මසාරථි සත්‌ථා දෙවමනුස්‌සානං බුද්‌ධො භගවාති.

මහණෙනි, සද්ධින්ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරිසවු සැදැහැතියේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු අරහත්හ. සම්මාසම්බුද්ධහ. අෂ්ට විද්‍යා හා පසලොස් චරණ ධර්මයෙන යුතු වන සේක. යහපත් මාර්ගයේ ගමන් කළහ. තිලොව ම විනිවිද දුටුහ. නිරුත්තර කිරීමෙන් පුරුෂයන් දමනය කළහ. දෙවිමිනිසුනට ශාස්තෘහ. බුද්ධ හ. භාග්‍යවත්හ යි. මේ ආකාරයෙන් තථාගතයන් වහන්සේගේ බුදුබව අදහයි. මහණෙනි, මේ සද්ධින්ද්‍රිය යි කියනු ලැබේ.

මෙහි දී බුදුන් වහන්සේගේ අවබෝධය ගුණ නවයක් සැලකිල්ලට ගනිමින් අදහන සුලු බවට හා විශ්වාසයට පැමිණීම පිළිබදව කියැවේ. ශාස්තෘ ප්රසාදය හැඩ ගැසෙන්නේ ධර්මාවබෝධය තුළින් බව මේ අනුව වටහාගත හැකිය. මෙම ගුණ සමුදායන් තත්කාලීන සමාජ වටපිටාව තුළ ද ඉතා ප්රසිද්ධව පැවැති බවත් නව අරහාදී ගුණ වයමින් කීර්ති ඝෝෂා නැගූ බවත් සූත්ර ධර්මවලින් දක්වා තිබේ. මේ ආදී ගත් විට නව ගුණ පිළිබදව මනා දැනුමක් ඇති කරගිනීම ඉතා ප්රයෝජනවත් වේ.

ඉතිපි සො භගවා අරහං සම්‌මාසම්‌බුද්‌ධො විජ්‌ජාචරණසම්‌පන්‌නො සුගතො ලොකවිදූ අනුත්‌තරො පුරිසදම්‌මසාරථි සත්‌ථා දෙවමනුස්‌සානං බුද්‌ධො භගවාති.

1. අරහං

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළ බැවින් ද, සියළු ක්ලේශයන් දුරු කළ බැවින් ද, මිනිස් දෙව් බ්‍රහ්ම යන සියල්ලන්ගේ පූජාසත්කාර පිළිගැනීමට සුදුසු බැවින් ද, අරහං නම් වන සේක

2. සම්මා සම්බුද්ධෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට අයත් වූ ද, අයත් නොවූ ද සියල්ල උපදෙස් රහිතව, තමන්වහන්සේ විසින් ම මැනවින් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. අන් කෙනෙකුගේ උපදේශයකින් තොරව සද්ධර්මය ස්වයංභුඥාණයෙන් අවබෝධ කළ නිසා මෙසේ හැදින්වේ. මේ බව බුදුන් වහන්සේ විසින් ම උන්වහන්සේගෙන් විමසූ අවස්ථාවක දී පැහැදිලි කරන ලදි.

වරක් උපක නම් ආජීවකයෙකු විසින් බුදුන් වහන්සේගෙන් ඔබගේ ශාස්තෘවරයා කවුරුන්දැයි ඇසූ විට උන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේ ය.

සබ්බාභිභූ සබ්බවිදූ හමස්මි – සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ

සබ්බඤ්ජහෝ තණ්හක්ඛයේ විමුත්තෝ – සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යං

මම් වනාහී සියලූ දෙය මැඩලුයෙමි. සියලූ දෙයෙහි අරුත් පසක් කළෙමි. සියලූ ධර්මයන්හි නොතැවරී සිටින්නෙමි. සියලූ කෙලෙස් හැර දැමූයෙමි. තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් විමුක්තියට පත්වූයෙමි. මෙසේ ස්වකීය ඤාණයෙන් ලත් අවබෝධයෙන් යුතු මා කවර ශාස්තෘවරයෙකු සොයන්නෙම් ද?

න මේ ආචරියෝ අත්ථී – සදිසෝ මේ න විජ්ජති

සදේවකස්මිං ලෝකස්මිං – නත්ථී මේ පටිපුග්ගලෝ

මා හට මේ නිකෙලෙස් අමා නිවන හෙළි කළ ආචාර්යවරයෙක් නැත. එනිසා මට සම වූවෙක් ද නැත.  ඒ් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහිදී අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය. දෙවියන් සහිත වූ ලෝකයෙහි මා වැනි වෙනත් කෙනෙක් නැත.

අහං හි අරහා ලෝකේ – අහං සත්ථා අනුත්තරෝ

එ්කෝම්හි සම්මාසම්බුද්ධෝ – සීතිභූතෝස්මි නිබ්බුතෝ

මම් වනාහී ලෝකයෙහි අරහත්වයට පත් කෙනෙක්මි. මම් අනුත්තර වූ ශාස්තෘවරයා වෙමි. මම් එකම සම්මාසම්බුදුවරයා වෙමි. සකල ක්ලේශදාහය නිවී ගියෙන් සිහිල් බවට පත්වූයෙමි. නිවී ගියෙමි.

3. විජ්ජාචරණ සම්පන්නෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනා ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් ද, පසලොස් චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වූ බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. සුගතෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මැදුම් පිලිවෙත අනුගමනය කරමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා සම්බුද්ධත්වය කරා පැමිණි බැවින් ද, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වන බැවින් ද සුගත නම් වන සේක.

5. ලෝක විදූ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 31 භූමි තලයන්හි කිසිවක් ඉතිරි නොකොට, සියල්ල දැන ගත් බැවින් ලොක විදූ නම් වන සේක.

6. අනුත්තරෝ පුරිසදම්ම සාරථී

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන් අයට දමනය කළ නොහැකි වූ, ජාතිමාන, බලමාන, ධනමාන ආදියෙන් මත් වූ, මුළා වූ සත්වයින් දමනය කොට, ඔවුන් සුමගට පමුණුවන්නන් අතරින් අග්‍ර වන බැවින් අනුත්තර පුරිසදම්ම සාරථී නම් වන සේක.

7. සත්ථා දේවමනුස්සානං

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව් මනිසුන්ගේ මෙලොව, පරලොව යහපත පිණිස හා නිර්වාණ ප්‍රතිලාභය පිණිස අනුශාසනය කළ අපගේ ශාස්තෘන් වහන්සේ වන බැවින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.

8. බුද්ධෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන, ලෝකයාට ද අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

9. භගවා

දාන ශීල භාවනාදී පාරමිතාවන් 30 ක් සපුරා ඒහි පරතෙරට පැමිණි නිසාත් ධර්මස්කන්ධය විභාග කළ නිසාත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත ඍධි, අනන්ත බලයන්ගෙන් යුක්ත වන නිසාත් භගවා නම් වන සේක.

මෙහි දී නව අරහාදී බුදු ගුණ දක්වා ඇත්තේ ඉතා සරළ ආකාරයෙනි. මෙම බුදුගුණයන් ඉතා ගැඹුරින් විවරණය කිරීම මේ අවස්ථාවේ දී උචිත නොවේ. බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ යම් හෙයකින් බුදුකෙනෙකුගේ ගුණ තවත් බුදුකෙනෙක් ම ප්රකාශ කරන්නට පටන් ගතහොත් මුලු මහත් කල්පයක් ම ඉවර වෙන බවත් බුදුගුණ අවසන් නොවන බවත්. මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමියන් අතින් ලියැවුණු පූජාවලිය නම් ග්රන්ථය පුරාම ලියවී ඇත්තේ අරහං බුදුගුණය පිළිබ‍‍දවයි. ඒමනිසා බුදුගුණ පිළිබදව සිතන්නට යාම ද මහත් වෙහෙසකර කාරණයකි. ඒහෙත් ඒය මෙනෙහි කිරීම ම මහා කුසල කර්මයකි. මෙම ගුණයන් වලින් පැහැදිළි වන්නේ ශ්රාවක ජනතාව විවිධ වැරදි පිළිවෙත් වලින් මුදා නිවැරදි මාර්ගය කරා යොමු කිරීමට බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු යෝග්‍යතාවයි.